Tuesday, August 4, 2020

කුරක්කන් - පර්යේෂණ හා සංවර්ධනය -Finger Millet -Research & Development


කුරක්කන් - පර්යේෂණ හා සංවර්ධනය

පර්යේෂණ ඔස්සේ කුරක්කන් බෝගය තව දුරටත් වැඩි දියුණු කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය (Field Crop Research and Development Institute-FCRDI) වෙත පැවරී ඇත. එමගින් පහත දැක්වෙන නව ප්‍රභේද නිකුත් කර ඇත. එම ආයතනය මගින් නිර්දේශිත වගා පිළිවෙත් පහතින් දැක්  වේ.

වියළි හා අතරමැද කළාපවල සාර්ථකව වගා කළ හැකි බෝගයකි. කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු, ජලය හොදින් බැස යන සාරවත් පසක් කුරක්කන් සඳහා ඉතා සුදුසුය. වගාව තුල ජලය රදා පැවතීම සුදුසු නැත. මහ කන්නයේදී වර්ෂා ජලයෙන් මෙන්ම යල කන්නයේදී ජල සම්පාදනය යටතේ මෙම බෝගය වගා කළ හැකි ය.

බිම් සැකසීම
බහුල වශයෙන් කුරක්කන් වගා කරන්නේ අළුතින් එළි පෙහෙලි කරගත් හේන් වලය. මෙහිදී විශේෂ බිම් සැකසීමක් සිදු නොවේ. මෙවැනි බිම් සීමා සහිත නිසාත්, වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහාත්, බිම් පෙරළා මහ කන්නයේ පළමු වර්ෂාව සමඟ සියුම්ව පස සකසා බීජ වැපිරීම හෝ සිටුවීම වැදගත් ය.

නිර්දේශිත ප්‍රභේද
එම්. අයි. 301, එම්. අයි. 302 හා රවි යන ප්‍රභේද වගාව සඳහා නිර්දේශ කර ඇත. මේ අතුරින් රවි ප්‍රභේදය මගින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ය. ඒ සඳහා ගතවන කාලය දින 90 පමණ වේ.

බීජ අවශ්‍යතාවය
වැපිරීම  සඳහා - හෙක්ටයාරකට කිලෝ ග්‍රෑම් 8
තවාන් කර පැල සිටුවීම සඳහා - හෙක්ටයාරකට කිලෝ ග්‍රෑම් 3 - 4

වගාව ආරම්භ කිරීම
මහ කන්නයේදී ඔක්තෝබර් මස මුල් භාගයේදී වගාව ආරම්භ කරන්න. බීජ වපුරන්නේ නම් ඒකාකාරීව බීජ විසුරුවා පස ඇවිස්වීමෙන් බීජ පසට යටකළ හැකිය.

පොහොර යෙදීම

මූලික පොහොර වශයෙන් යූරියා, ත්‍රිත්ව සුපර් පොස්පේට් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් යන පොහොර වර්ගවලින් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 50 බැගින් ද, වගාවට සති 3-4 දී හෙක්ටයාරයකට යූරියා කිලෝ ග්‍රෑම් 50 ක් ද වන පරිදි පොහොර යොදන්න. 

වල් පැල පාලනය
බෝගයේ ලපටි අවස්ථාවේදී වර්ධනය සිදුවන්නේ ඉතා සෙමිනි. ඒ නිසා දින 45 පමණ ගතවන තෙක් වගාවේ වල් පැල පාලනය පිළිබදව සැලකිලිමත් වීම වැදගත්ය. පේලි දිගේ බීජ වපුරා ඇති විට හෝ පැල සිටුවා ඇති වගාවන්හි හෝ පේලි අතර වල්පැල උදළු ගා පහසුවෙන් පාලනය කළ හැකිය. සති 3 දී පමණ මතුපිට පොහොර යෙදීමත් සමගම මෙය කළ හැකිය.

ජල සම්පාදනය
යල් කන්නයේදී වගාවට අමතර ජල සම්පාදනය කළ හැකි නම් සාර්ථකව කුරක්කන් වගා කළ හැකිය. වියළි කාල වලදී සතියකට වරක් පමණ බැගින් ජලය සපයන්න.

කෘමි හා රෝග පාලනය
කුරක්කන් වගාවට හානිකරනු ලබන දරුණු කෘමි වර්ග නැත. නමුත් කොළ පාළු රෝගය නිසා සමහර වගාවන් හට දරුණු හානි ඇති විය හැකිය. රෝගී පත්‍රවල ඇති වන දුඹුරු පැහැති පුල්ලිවල අළු සුදු පැහැති මැද ප්‍රදේශයක් දක්නට ලැබේ. කුඩා පැල දරුණු හානියකදී මියයා හැකිය. එසේම කරල් පිරීම දුර්වල වීමටද ඉඩ තිබේ.

රෝගය පාලනය සඳහා වැඩි ඝණකමකින් බීජ වැපිරීම නොකිරීමත්, වැඩිපුර නයිට්‍රජන් පොහොර නොයෙදීමත් වැදගත් යරෝගය දරුණු නම් බෙනොමිල් හෝ එඩිපෙන්පොස් වැනි දිලීර නාශකයක් වගාවට යොදන්න.

අස්වැන්න

හොඳින් මෝරා පැසී ඇති කරල් දෑකැතිවලින් කපා, පසුව බීජ වෙන්කර ගන්න. අප රටේ වගා පාලන කටයුතු බොහෝ විට දුර්වල මට්ටමක පවතින නිසා කුරක්කන් වගාවන්ගෙන් ලැබෙන සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 700 පමණ වේ. නමුත් පොහොර භාවිතය, වල් මර්ධනය වැනි කටයුතු මැනවින් ඉටු කළ වගාවන්ගෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2500 - 3000 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.


0 comments:

Post a Comment