Monday, August 3, 2020

2020 යල කන්නයේ කුරක්කන් බෝගය වගා කිරීම අළලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත්කල අත් පත්‍රිකාව

2020 යල කන්නයේ කුරක්කන් බෝගය වගා කිරීම අළලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත්කල අත් පත්‍රිකාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2020 යල කන්නයේ කුරක්කන් වගාව සම්බන්ධයෙන් නිකුත් කළ අත් පත්‍රිකාව අනුව ජල සම්පාදිත තත්වයන් යටතේ කුඹුරුවල කුරක්කන් වගා කල හැකි වේ. ඒ සඳහා ඕෂධ සහ රාවණා යන කුරක්කන් ප්‍රභේද නිර්දේශ කර ඇත. එම ප්‍රභේද දෙකම දින 90-100 අතර පරිනත වේ. අක්කරයකට කිලෝ ග්‍රෑම් 1000-1400 දක්වා අස්වනු විභවයක් සහිත ඕෂධ ප්‍රභේදය මහ සහ යල දෙකන්නයේදීම වගාව සඳහා නිර්දේශිත ය.  එනමුත් අක්කරයකට කිලෝ ග්‍රෑම් 1000-1600 දක්වා වැඩි අස්වනු විභවයක් සහිත රාවණා ප්‍රභේදය නිර්දේශ කරන්නේ යල කන්නය සඳහා පමණි.

කුරක්කන්වල වත්මන් සාමාන්‍ය අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 280-300 බවටද එම පත්‍රිකාවේ වාර්තා වේ. එබැවින් කුරක්කන් වගාවේ අස්වනු ඉහල නැංවීම සඳහා විශාල විභවයක් පවතින බව පැහැදිලි වේ. යල කන්නයේදී සාර්ථක වගාවක් සඳහා අප්‍රේල් මස අවසන් වීමට පෙර බීජ වපුරා අගෝස්තු මස අස්වනු නෙලාගත යුතු ය.  කුරක්කන් වැපිරීම සඳහා අක්කරයකට බීජ කිලෝග්‍රෑම්  3.2 ක් ද පැල  සිටුවීම සඳහා අක්කරයකට බීජ කිලෝග්‍රෑම් 1.2 ක් ද නිර්දේශිත ය.  පැල සිටුවීමේ දී පේළි අතර අඩියක් ද පැල අතර අඟල් 4 ක් ද වන පරිදි අඟල් 1/2ක් ගැඹුරට පැල සිටුවිය යුතු ය. පැල සිටුවීමෙන් එක් පැළයක රිකිළි 5-6ක් හට ගනී. වැපිරීම මෙන් තුන් ගුණයක අස්වැන්නක් ද ලබා ගත හැකි ය. පේළියට බීජ යෙදීමෙන් වල් මර්ධනය පහසු වන නමුත් ආර්ථික වශයෙන් ලාභදායී නොවන බව සඳහන් වේ. 

 

අක්කරයක් වගා කිරිමට අවශ්‍ය පැළ ලබාගැනීම සඳහා බීජ තවාන් සකස් කර ගැනීමට අඩි 15 ක් දිග අඩි 3 ක් පළල පාත්ති 10 ක බීජ තවන් දැමිය යුතු ය.  තවාන් පාත්ති සකස් කරන විට එක පාත්තියකට දිරාපත් වූ ගොම කිලෝ ග්‍රෑම් 5 - 6 ක් මිශ්‍ර කර ඉන්පසු පිදුරු හා/හෝ දහයියා දමා පාත්ති පුළුස්සා ඉතිරි වන අළු පසට මිශ්‍ර කළ යුතු ය.


0 comments:

Post a Comment